ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති 02වැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 02කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492ක් රැස් කිරීමට සමත් විය.

එහිදී අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටර්ලින් (103) සහ කර්ටිස් කැම්පර් (111) ශතක වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.

ඊට අමතරව අයර්ලන්ත නායක ඇන්ඩි බැල්බ්‍රයින් ලකුණු 95ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් දවාගත් අතර, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02 බැගින් දවාගැනීමට සමත්වූහ.

අනතුරුව සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 704ක දැවැන්ත ඉනිමක් ගොඩනැඟීමට සමත් විය.

මෙම ඉනිමේදී නිශාන් මධුෂ්ක (205) සහ කුසල් මෙන්ඩිස් (245) සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතක වාර්තා කළ අතර, මධුෂ්ක ඒ සමගින් වාර්තා අතරට එක් වූයේ මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයකින් සැරසූ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරු සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විතව ශතකයක් වාර්තා කළ 14වැනි පිතිකරු ලෙසයි.

මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් කරා ගෙන ගිය ලොව 40වැනි පිතිකරු වූ මධුෂ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් වාර්තා කළ ළාබාලතම පිතිකරු බවටද පත් විය.

මධුෂ්කගේ ඉනිමට අනගි සහායක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 228ක සබඳතාවක් ගොඩනැගීය.

දිමුත්ගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණි කුසල් මෙන්ඩිස්, නිශාන් මධුෂ්ක සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 268ක සබඳතාවක් ගොඩනැඟුවේය.

කුසල් මෙන්ඩිස් සිය 09වැනි ටෙස්ට් ශතකය මංගල ද්විත්ව ශතකය කරා රැගෙන ගිය අතර, එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී වැඩිම හයේ පහරේ වාර්තාවද තමා සතු කර ගැනීමට මෙන්ඩිස් සමත් වූයේ ඔහුගේ ඉනිම හයේ පහර 11කින් වර්ණවත් කරමිනි.

මින් පෙර එම වාර්තාවට හිමිකම් කී කුමාර් සංගක්කාර 2014 වසරේ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී හයේ පහර 08ක් එල්ල කර තිබිණි.

මෙම ඉනිමේදී වැඩිම හයේ පහර එල්ල කිරීමේ ලෝක වාර්තාව මෙන්ඩිස්ට අහිමි වී ගියේ එක් හයේ පහරකිනි.

ටෙස්ට් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කියන පාකිස්තානයේ වසීම් අක්‍රම් එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 12කි.

මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් වාර්තා කළ 15වැනි පිතිකරු ලෙසද වාර්තා අතරට එක් විය.

මෙම ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස්ද සිය 15වැනි ශතකය වාර්තා කළ අතර, ඒත් සමගින් පළමු ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් සිව්දෙනා ශතක වාර්තා කළ අතර, ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී එවැනි අවස්ථාවක් වාර්තා වූ තෙවැනි අවස්ථාව ලෙස එය සටහන් විය.

අනතුරුව ලකුණු 212ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 202ක් පමණි.

එහිදී අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 85ක් සහ නායක ඇන්ඩි බැල්බ්‍රයින් ලකුණු 46ක් රැස් කළ අතර, අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබානොදුන්හ.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 05ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 02ක් දවාළීමට සමත් වූහ.

මෙම ඉනිමේදී ප්‍රභාත් ජයසූරිය වසර 71ක් පැරණි වාර්තාවක් බිඳ හෙළමින් ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම කඩුලු 50 දවාගත් දඟපන්දු යවන්නාගේ වාර්තාව තමන් සතුකර ගැනීමට සමත්විය.

ඔහු එම දක්ෂතාව දැක්වූයේ සිය 07වැනි ටෙස්ට් තරගයේදීය. මීට අමතරව ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත් ම කඩුලු 50 දවා ගනු ලැබූ සමස්ත පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි සම ස්ථානයටද පත්වීමට සමත්විය.

ඒ අනුව තරගයේ වීරයා සම්මානයද ප්‍රභාත් ජයසූරියට හිමිවූ අතර, ඔහු මෙම තරගයේදී කඩුලු 07ක් බිඳහෙළීමට සමත් විය.

තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිවූ අතර, ඔහු තරග දෙක තුළ ශතකයක් සහ ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 385ක් රැස් කරගෙන තිබුණි.