කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර මැයි දිනය අද  (01)  දිනට යෙදී ඇත.

ලෝකයේ අනෙක් රටවල ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවද මැයි දිනය සැමරීම සිදු කරනු ලබයි.

ඒ සදහා මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් අද  (01)  මැයි රැලි පැවැත්වීමට  කටයුතු  සුදානම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය  පස්වරුවේ  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පක්ෂයේ ඉදිරිපෙළ දේශපාලන නායකයින් රැසක් සහභාගි වීමට නියමිත බව සදහන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි රැලිය  පස්වරුවේ  බොරැල්ල කැම්බල් පිටියේදී සුදානම් කර ඇති අතර එහි ප්‍රධානත්වය පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  විසින් සිදු කෙරේ.

” වැඩබිමේ අරගලය මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් ” යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය  පස්වරුවේ මාළිගාවත්ත පී.ඩි. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භවීමට නියමිතය.

අනතුරුව එම පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සංවිධානය සුදානම් කර ඇත්තේ ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදිය.

එමෙන්ම කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටදි ජාතික ජනබලවේගයේ මැයි රැලිය සංවිධානය කර ඇත.

පෙරටුගාමි සමාජවාදී පක්ෂය පස්වරුවේ දෙල්කඳ හන්දියෙන් සිය මැයි පෙළපාලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර පසුව නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨයේදි සිය මැයි රැලිය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

උත්තර ලංකා සභාගයේ මැයි රැලිය  පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ හයිඩ් පාක් පිටියේදිය.

මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ 02ක් සිය මැයි දින සැමරුම් කොළඹින් පිට පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින සැමරුම මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට හෙට පැවැත්වීමට සැලසුම් කර ඇත.

නිදහස ජනතා සන්ධානය සිය මැයි දින සැමරුම මහනුවර සහස් උයන ඉදිරිපිට හෙට පැවැත්වීමට සැපසුම් කර තිබේ.

එමෙන්ම කම්කරු දිනය නිමිත්තෙන්  මැයි  දිනයෙදී කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී වෙනුවෙන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත.

මැයි රැලි පැවැත් වීම සඳහා විවිධ දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සංවිධාන කටයුතු සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

ඒ පිළිබඳව පොලසිය සමග සම්බන්ධීකරණය වෙමින් මේ වන විට කටයුතු සිදු කරන බව ඔහු ප්‍රකාශ කර ඇත.

පොලිසිය සහ සංවිධායකවරුන් පැවැත්වූ සාකච්ඡාවේදී සාවිධායකවරුන් එකඟ වූ පරිදි පෙළපාළි ගමන් කිරීමේදී එක් මං තීරුවක ගමන් කිරීමට ඒකඟතාව පළ කර පරිදි ඒ අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර ඇත.