ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ,අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධනය සහාය ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව (ADB) එකඟතාවය පළ කර ඇති බවයි මෙරට රජය සඳහන් කරන්නේ.

නිෂ්පාදන, අපනයන, ආනයන, සංචාරක, ඇඟලුම් සහ විවිධ වාණිජවල යෙදී සිටින ව්‍යවසායකයින්ට ආර්ථික පසුබෑම යටතේ තම ව්‍යාපාරය පවත්වා ගෙන යාම දුෂ්කර වී ඇති බවයි රජය පවසන්නේ.

යෝජිත වැඩසටහන මගින් දැනට ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමට සහ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් බල පත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත ලබාදීමට අපේක්ෂා කෙරේ.

රජය පවසන්නේ, අදාල ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන විස්සක් යෙදවීමට නියමිත අතර ඉන් රුපියල් බිලියන 15ක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යවසාය ශක්තිමත් කිරීමටත්,ඉතිරි රුපියල් බිලියන 5ක මුදල අක්‍රීය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායකයන්ට සහාය වීමටත් යොදවනු ඇති බවයි.