ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මෙන්ම ආසියානු යටිතල පහසුකම් බැංකුව වැනි ආයතන වලින් අයවැය පරතරය පියවීමට ලබාදෙන සහන ලබා නොදුනහොත් ඒවායේ බලපෑම අස්වැසුම වැනි සංවර්ධන වැඩසටහන් වලට ඒවා සෘජුව බලපාන බවත්, ණය ප්‍රතිව්‍යුවහගත නොකළහොත් මේ වසරේ ලැබීමට ඇති ඩොලර් මිලියන අටසීයක පමණ විදේශ ධනය අහිමි වීමට ඉඩ ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

මේ වන විට අවුරුදු දෙකක් තුළ පොලී නොගෙවා පැහැර හැර ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන එක්දහස් හත්සීයක් පමණ වන බවත් එයින් සියයට විස්සක් කපා හැර ඉතිරි ඩොලර් බිලියන දහතුනකට ආසන්න ප්‍රමාණයට අලුතෙන් බැඳුම්කර නිකුත් කිරීමට රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෝජනා කොට ඇති බව ද එය ඉතාම සංකිර්ණ දෙයක් බවත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඒ ගැන දත්ත ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

එහිදී මාලිමාවේ දැන් සමාජවාදය නැතැයි ලාල්කාන්ත මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් දරන අදහස කුමක්දැයි මාධ්‍යවේදියෙකු කල ප්‍රශ්නයකට උත්තර දෙමින් පාටලි චම්පික පවසා සිටියේ,

“යූ ටියුබ් එහෙක එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා…. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ.

නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය අවසන් වගේ එහෙමත්. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. ඒ වගේ යථාර්ථය පිළි අරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරලා, මොකද පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි දැන් අනුර දිසානායක මහත්තයාගෙත්, ටිල්වින් සිල්වා මහත්තයාගේත් වාරය.” බවයි