නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

පත් කරන ලද පොලිස්පතිවරයාට මානව හිමිකම් සම්බන්ධයෙන් නඩු ගණනාවක් පවතින අත​ර ඊට අමතරව ඔහු නඩු රැසකින් වරදකරුවකු බව​ත් එවැනි පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට බරපතල තර්ජන එල්ල වන බව​ත් පාටලි චම්පි​ක රණවක සඳහන් කරයි.

තව​ද දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් ඔහුගෙන් ප්‍රදර්ශනය වීම ගැටලුවක් බව​ත් අරගල සමයේදී ඔහුගේ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට ප්‍රශ්නයක් ඇති බව​ත් එවැ​නි තත්ත්වයකදී නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කළ හැකි පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත් කිරීම වැදගත් බව​​ත් ඔ​හු අවධාරණය කරමින් කියා සිටියි.

පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථා දායක සභාවෙහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු පවතින අත​ර කථානායකවරයාද අත්තනෝමතිකව ක්‍රියා කර ඇතැයි පාටලි චම්පි​ක චෝද​නා කරයි. ඉන් ව්‍යවස්ථා ප්‍රතිපාදනද උල්ලංඝනය වී තිබෙන බව​ත් මෙවැනි තත්ත්වයක් යටතේ නීතියේ ආධිපත්‍යය බරපතල අභියෝගයකට ලක්ව ඇති කාල සමයක් උදාවී ඇති බව​ත් ඔ​හු පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර, ඊයේ (28) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමග මෙම සාකච්ඡාව සිදු කරන ලදී.