යම් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම​ට පුද්ගලයෙකු පොලීසිය වෙත කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පාර්ශවකරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) පෞද්ගලිකවම පෙනී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දුන්නේය.

බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකයකු වන එම්. බී. වී. රැළපනාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම දැනුම් දීම සිදුකළේය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයකු පොලීසිය වෙත කැඳවනු ලැබන අවස්ථාවේදී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කව්ද? සහ එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබදව ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පුද්ගලයාට දැනුවත් කිරීමට අදාළව චක්‍රලේඛකයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය. එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් පුද්ගලයෙක් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට පෙර එම පැමිණිල්ල සිදු කළේ කවුරුන්ද? එම පැමිණිල්ලේ අන්තර්ගතය කුමක්ද? යන තොරතුරු දැනගැනීමට හිමිකමක් තිබෙන බව සඳහන් කළේය.

පොලිස්පතිවරයා විසින් කෙටුම්පත් කර ලබන චක්‍රලේඛයේ පිටපත අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම පෙත්සම පවත්වාගෙන යන්නේ ද? යන කරුණ සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීමට පියවර ගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වග උත්තරකාර පොලිස්පතිවරයාට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වනදා කැඳවීමට ද නියම කළේය.

ඉන් අනතුරුව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ස්තුතිය පළ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර පසුව ඔහු මුදා හැරීමටත් නියෝග කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ අදහසක් පලකිරීමෙන් පසුව ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණ ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවයි.

අදාළ ප්‍රකාශය ලබා ගැනීමට සූදානම් වන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන් දැයි තමන් විමසූ විට ඊට අදාළව කරුණු පැහැදිලි කිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කළේය.