පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කරමි​න් එම වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට නැමීබියාවේ Jan Nicol Loftie-Eaton අද(27) සමත් වුණා.

නේපාලයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 තරගාවලියේ දී සත්කාරක නේපාල කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයේ දී ඔහු මේ වාර්තාව අතරට පැමිණ තිබු​ණා.

Kirtipur හී දී පැවැති මෙම තරගයේ දී Jan Nicol Loftie-Eaton සිය ශතකය වාර්තා කළේ පන්දු 33 ක් පමණක් වැය කරමින්.

ඔහු පන්දු 36 කදී ලකුණු 101 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 8ක් හා හතරේ පහර 11 ක් සමගින්.

මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කර තිබුණේ නේපාලයේ Kushal Malla විසින්.

ඔහු පන්දු 34 කින් මොන්ගෝලියාවට එරෙහිව පසුගිය වසරේ දී ශතකයක් වාර්තා කරමින් එම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව කඩුු 4ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළ අතර, පිළිතුරුඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.