ශ්‍රී ලංකා පොලිසිය වැනි වැදගත් ආයතනයක ප්‍රධානියා ලෙස පත් කළ පුද්ගලයා රටේ පුරවැසියන්ට වද හිංසා පනවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට ලක්ෂ 5 ක වන්දියක් ගෙවන ලෙසත් ඔහුට විරුද්ධව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් පවසයි

අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනතාවාදී විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් පවසා සිටියේ,

‘‘ශ්‍රී ලංකාවේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත් කළ බව රජය ප්‍රකාශයට පත් කළා. මේ පත්වීම සිදුකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. ජනාධිපතිවරයාට මෙම පත්වීම සිදුකිරිමට හැකි වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනිවාර්යෙන් අවශ්‍ය වන කාරණයක්. අනුමැතිය නොමැතිව පොලිස්පතිවරයා පත් කිරිමට හැකියාවක් නෑ.

පොලිස්පතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිටින සමාජිකයන්ගෙන් 5 ක් ඡන්දය ලබාදිය යුතුයි. නමුත් පොලිස්පතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 4 ක් පක්ෂව ඡන්දව ලබාදී තිබෙනවා. විපක්ෂව සමාජිකයන් 2 ක් ඡන්දය ලබාදුන්නවා. මේ අතර සිවිල් සමාජිය නියෝජනය කරන සාමජිකයන් ව්‍යවස්ථාදායක සභාවට සහභාගි වුණේ නෑ.

ශ්‍රී ලංකාවේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත් කිරිමට ජනාධිපතිවරයා සිදුකළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවෙන් ලැබුණේ ඡන්ද 4 ක් පමණයි. නමුත් එම තීරණය බලාත්මක වීමට ඡන්ද 5 ක් අවශ්‍යයි. පස්වෙනි ඡන්දය ලැබුණේ කතානායකවරයාගෙන්. ඒ අනුව ඡන්ද 5 ක් බවට පත්වුණා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායකවරයාට ඡන්දය ලබාදීමට හැකියාවක් තිබුණේ නෑ. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඉ වගන්තියේ 5 වන ඡේදයේ මෙසේ සඳහන් වෙනවා. ‘‘සභාපතිවරයාට හෝ රැස්වීමේ මුලාසනය දරන සමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත් සභාවේ යම් ඇසිය යුතු ප්‍රශ්නයක් සඳහා සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවේදී සභාපතිවරයාට හෝ රැස්වීමේ මුලාසනය දරන සමාජිකයාට තීරක ඡන්දයක් තිබුය යුතුත්තේය.‘‘

පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන්ව පත් කිරිම සඳහා රැස්වුණ ව්‍යවස්ථාදායක සභාවේ මූලාසනය හෙබවුයේ කතානායකවරයා. ඔහු තමයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාට මුල් ඡන්දයක් නැති බව. නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයා ප්‍රකාශ කළේ මුල් ඡන්දයක්. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාට නැති ඡන්දයක් භාවිතා කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කතානායකවරයා උල්ලංඝනය කළා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයාට ඡන්දය ලබාදීමට හැකි වන්නේ සම සමව ඡන්දය බෙදුණ අවස්ථාවකදී පමණයි. ඒ අනුව කතානාකයකවරයා සෘජුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. ‘ යනුවෙනි