ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින දෙමළ ජනතාව මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිය ගණනක් ඝාතනයට ලක්වූ ‘මුල්ලිවයික්කාල් සංහාරය’ සිහිකරයි.

එල්.ටී.ටී.ඊ ධජ සහ රූප ප්‍රදර්ශනය නොකළයුතු බව පවසමින් බලධාරීන් විසින් එම උත්සව පැවැත්වීමට ඉඩදීමෙන් පසු උතුරේ සහ කොළඹදී සමරු උත්සව පැවැත්වුණු අතර කොළඹ වැල්ලවත්තේ පැවති උත්සවයක් කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයක්ද පොලිසිය විසින් වළක්වනු ලැබූ අතර එහිදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

යුද්ධය අවසන් වී වසර 15ක් පිරීම නිමිත්තෙන් මුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට විශාල පිරිසක් සහභාගී වූ බව සමාජ ක්‍රියාකාරිනීයක වන භවානි ෆොන්සේකා පවසා ඇති අතර ඇය X හි සටහනක් ලියාතබමින් සඳහන් කර තිබුණේ බොහෝ දෙනෙකුගේ ශෝකය, කම්පනය සහ ඔවුන්ගේ ආදරණීයයන්ට සිදුවූයේ කුමක්ද යන්න සහ ශ්‍රී ලංකාවේ නොවිසඳුණු යුක්තිය සහ සාමය පිළිබඳ ප්‍රශ්න පිළිබඳ මෙය නැවත මතක් කිරීමක් බවයි.

කැනඩාවේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ දෙමළ ජනතාව ද ‘මුල්ලිවයික්කාල් සංහාරයේ’ විපතට පත් වූවන් සැමරීම සඳහා උත්සව පවත්වා ඇති අතර කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ එක්සත් ජනපදයේ දේශපාලකයන් ද X හි පණිවිඩ පළකර වින්දිතයන්ගේ පවුල්වලට සහය පළ කර ඇති අතර වගවීමද ඉල්ලා ඇති බවට කරුණු වාර්තා වේ.

2009 මැයි මාසයේදී එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමට හමුදාව කළ අවසාන සටනේ දී සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගිය බව වාර්තා විය. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල වූ අතර එය ඔහු ප්‍රතික්ෂේප කළේය.

එතැන් සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වගකිව යුතු අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවත් සඳහන් කර තිබුනද කෙසේවෙතත්, යුද අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීම අනුප්‍රාප්තික රජයන් ප්‍රතික්ෂේප කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.