ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර ඇත.

ජනාධිපති කාර්යාලයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයා ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබාගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන්ගේ නම අනුමත නොකිරීම හේතුවෙන් මාස ගණනක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් පැවතිණි.

එම හේතුව නිසා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට අවස්ථා කිහිපයකදීම සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

කෙසේවෙතත් විෂය භාර ඇමැති ටිරාන් අලස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතුය යන දැඩි මතයේ සිටි බව වාර්තා අනාවරණය කළේය.

මේ අතර පොලිස්පතිවරයාගේ ධූර කාලය වසර 03කට සීමා කිරීමට අදාළ ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ කතෝලික සභාව ඇතුළු පාර්ශව ගණනාවක්ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීමට විරෝධය පළකර තිබිණි