බොලිවුඩ් සිනමාව බොක්ස් ඔෆිස් හි ජය කෙහෙලි නැංවූ 2023 වසරේ අවසන් මාසය වන දෙසැම්බරයත්, ගතවූ මාස 11ට නොදෙවනි වන බව තමයි පෙනෙන්ට ඇත්තේ. වසරේ දැවැන්තම බොක්ස් ඔෆිස් ගැටුම ලෙස විචාරකයින් හඳුන්වන ශාරුක් ඛාන් සහ තාප්සි පන්නු රරංගනයෙන් දායක වන රාජ් කුමාර් හිරානිගේ Dunki සහ ප්‍රභාස් රංගනයෙන් දායක වන Salaar චිත්‍රපටයද ඇතුළුව, සීතල දෙසැම්බරය උණුසුම් කරමින් තවත් චිත්‍රපට කිහිපයක්ම තිරගත කිරීමට සූදානම් ව තිබියදී දෙසැම්බර් පළමු වනදා තවත් දැවැන්ත සිනමාපට දෙකක් තිරගත වීමට නියමිත ව තිබෙනවා. ඉන් එකක් වන්නේ මේවන විට කාගේත් කතාබහට ලක්වී ඇති රන්බීර් කපූර් සහ රශ්මිකා මන්දනා ප්‍රධාන චරිත නිරූපණය කරන Animal චිත්‍රපටය වන අතර, අනෙක් චිත්‍රපටය විකී කෞෂාල් ප්‍රධාන චරිතය නිරූපණය කරන Sam Bahadur චිත්‍රපටයයි.

සෑම් මාණික්ශෝ… මෙම මස 10 වැනිදා සිට තිරගත කෙරුණු Pippa චිත්‍රපටය නැරඹූ අයෙක් නම් ඔබට මෙම චරිතය හමුවන්නට ඇති. Pippa චිත්‍රපටයටද පසුබිම් වූ “බංග්ලාදේශ විමුක්ති සටන” ලෙස හැඳින්වූ 1971 ඉන්දු – පාකිස්ථාන යුද්ධයට සෑම් මාණික්ශෝ නම් ඉන්දියානු හමුදා ප්‍රධානියා නායකත්වය දුන් ආකාරය එහිදී ද දකින්නට ලැබෙනවා. Sam Bahadur චිත්‍රපටය නිර්මාණය වන්නේ ඉන්දියාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් වරයා ලෙස නම් කෙරුණු සෑම් මාණික්ශෝ නම් නිර්භීත හමුදා නිලධාරියාගේ ජීවිත කථාව ඇසුරිනුයි. 1971 ඉන්දු – පාකිස්ථාන යුද්ධයට නායකත්වය දෙමින් බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කිරීමට සෑම් මානික්ශෝ සිදු කළ මෙහෙය ප්‍රධාන වශයෙන් මෙම චිත්‍රපටයේ කතාවට පදනම් වී ඇති අතර, biographical war drama ශානරයේ චිත්‍රපටයක් ලෙසයි Sam Bahadur හැඳින්විය හැක්කේ. Talvar (2015), Raazi (2018) සහChhapaak (2020) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මේග්නා ගුල්සාර් Sam Bahadur හි අධ්‍යක්ෂවරිය යි. Sam Bahadur පිළීබඳ අදහස මේග්නා විසින් විකී කෞෂාල්ට පවසා ඇත්තේ, විකී ද පාකිස්ථාන හමුදා නිලධරයෙකු ගේ චරිතයට පණ පෙවූ Raazi (2018) රූගත කිරීම් අතරතුර වන අතර, ඉන් වසර කිහිපයකට පසු චිත්‍රපටය නිලවශයෙන් නිවේදනය කර ඇත්තේ ෆීල්ඩ් මාෂල් සෑම් මාණීක්ශෝ ගේ 107 වන ජන්ම දිනයේදීයි. Uri: The Surgical Strike (2019) චිත්‍රපටයේ හමුදා නිලධාරියෙකුගේ රංගනය විශිෂ්ඨ ලෙස නිරූපණය කළ විකී කෞෂාල් “සෑම් මාණික්ශෝ” චරිතයට ද උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දෙස බැලීමේදී පෙනී යනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මෙන්ම විචාරක ඇගයීම් ද සමගින් ඇමරිකානු ඩොලර් ඩොලර් මිලියන 25 අධික ආදායමක්ද උපයාගනිමින් වසරේ හොඳම චිත්‍රපටයට සහ හොඳම අධ්‍යක්ෂණයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මාන පවා දිනාගත් මේග්නා ගුල්සාර්ගේ Raazi (2018) චිත්‍රපටය ලැබූ සාර්ථකත්වය අනුව, Sam Bahadur ද ඉතා ඉහළ මට්ටම් නිර්මාණයක් වනු ඇති බවට නම් සැකයක් නැහැ. පසුගිය දා මාධ්‍යට නිකුත් කළ “Badhte Chalo” සහ “Banda” යන ගීත ද ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පවතින අතර, විකී කෞෂාල්ගේ Sam චරිතයේ රංගනය වෙනුවෙන් “හොඳම නළුවා සම්මානය” හෝ “හොඳම නළුවාට හිමි විචාරක සම්මානය” අනිවාර්යයෙන්ම ලැබෙනු ඇති බවටයි සිනමා විචාරකයින් අනාවැකි පළ කරන්නේ. නමුත්, කෙතරම් ඉහළ මට්ටමේ නිර්මාණයක් වුවත් එදිනම තිරගත කිරීම් අරඹන Animal චිත්‍රපටය Sam Bahadur හි බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට බරපතල තර්ජනයක් එල්ල කරනු ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

බොලිවුඩ් හි අතිශය ජනප්‍රිය වූ Arjun Reddy තෙළිඟු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ Kabir Singh චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංදීප් රෙඩ්ඩි වංගාගේ නවතම චිත්‍රපටය වන “Animal” ඔහුගේ සුපුරුදු action thriller ශානරයේ චිත්‍රපටයක් ලෙසයි ප්‍රේක්ෂකයා හමුවට එන්නේ. දකුණු ඉන්දීය ආරයට යමින් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සිදු කෙරන ආකාරය දැක ගන්නට ලැබුණු අතර, හින්දි භාෂාවට අමතරව දමිළ, තෙලුඟු කන්නඩ සහ මලයාලම් බසින්ද තිරගත කිරීම නිසා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් Animal වෙත හිමි වනු ඇති. සංදීප් රෙඩ්ඩි වංගා තෙලුඟු සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂක වරයෙකු වීම නිසාත් තෙලුඟු. කන්නඩා මෙන්ම දමිළ චිත්‍රපට නිලියක ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින රශ්මිකා මන්දනා ප්‍රධාන චරිතය නිරූපණය කිරීම නිසාත්, Animal දකුණු ඉන්දියානු ප්‍රේක්ෂකයින්ට මඟහරින්නට නොහැකි චිත්‍රපටයක් වී තිබෙනවා. අතීතයේ දිගු ධාවන කාලයකින් යුත් චිත්‍රපට ඉන්දියානු සිනමාවට අමුත්තක් නොවුවත්, කලකට පසු රිදී තිරයට පැමිණෙන දිගු ධාවන කාලයකින් යුත් චිත්‍රපටයක් ලෙසයි Animal නම් කළ හැක්කේ. සියළු සංස්කරණයන්ගෙන් පසු එහි ධාවන කාලය මිනිත්තු 201ක් එනම්, පැය 03කුත් මිනිත්තු 35ක් පමණ වන අතර, එහි OTT සංස්කරණය එයටත් වඩා වැඩි කාලයක් වනු ඇති බවයි වාර්තා වන්නේ. චිත්‍රපටයේ දකින්නට ලැබෙන අති ප්‍රචණ්ඩකාරී දර්ශන සහ ලිංගික දර්ශන හේතුවෙන් ඉන්දියානු මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලය (Central Board of Film Certification) මෙන්ම බ්‍රිතාන්‍ය චිත්‍රපට වර්ගීකරණය පිළිබඳ මණ්ඩලය (British Board of Film Classification) විසින්ද වැඩිහිටියන්ට පමණක් සුදුසු (18+) චිත්‍රපටයක් ලෙසයි ප්‍රදර්ශනයට අනුමැතිය ලබා දී ඇත්තේ. කෙසේ නමුත්, තිර පෙම්වතුන් ලෙස රන්බීර් සහ මන්දනාගේ අපූරු ගැලපීමක් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයෙන් මෙන්ම නිකුත් කරන ලද ගීත වලදීද දැකගැනීමට හැකියාව ලැබුණූ අතර, පරිනිති චෝප්රා සහ ප්‍රවීණ නළු අනිල් කපූර් ද රංගනයේ යෙදෙන මෙම චිත්‍රපටයේ, බොබී ඩියෝල් ද මින් පෙර නොදුටු ආකාරයේ චරිතයක් නිරූපණය කරන ආකාරය දැක ගැනිමට පිළිවන්. ඒ අනුව, බොහෝ විචාරකයින් පවසන්නේ සංදීප්ගේ Animal චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි අති සාර්ථක චිත්‍රපටයක් වනු ඇති බවයි.

මේ අනුව, ප්‍රබල නළු නිලි පිරිසක් සහිතව ඉන්දියානු රුපියල් කෝටි 100කට අධික පිරිවැයකින් නිෂ්පාදනය කර ඇති Animal ඉදිරියේ Sam Bahadur ට පරාජය භාර ගන්නට සිදු වනු ඇති බව පෙනෙන්නට තිබෙනවා. නමුත් පසුගිය කාල සීමාව පුරාවටම action thriller crime ශානරවල චිත්‍රපට රැසක් එක පෙළට බොලිවුඩයෙන් මෙන්ම අනෙක් ඉන්දියානු සිනමා කර්මාන්තවලින්ද මෙම වසර තුළ නිකුත් කෙරුණු දක්නට ලැබුණා. ඉන්දියානු රුපියල් කෝටි දහසේ සීමාව පසු කරනු ඇතැයි අපේක්ෂා කළ පසුගිය මාසයේ තිරගත කිරීම ඇරඹූ තලපති විජෙයිගේ LEO චිත්‍රපටය පවා මාසයක් ඉක්මගිය පසුවත් පසුවන්නේ කෝටි 620 සීමාව තුළයි. එම නිසා විචාරකයින් සහ රසිකයින් කුමක් පැවසුවත් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වන Animal චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි බලාපොරොත්තු වන සාර්ථකත්වයට ළඟා නොවනු ඇති බවයි අපගේ විශ්වාසය. තිරගත වී පළමු දින කිහිපයෙන් පසු බෙහෝ විට Animal හි ආදායම ක්‍රමයෙන් අඩුවී යනු ඇති බව අපේක්ෂා කළ හැකි අතර, ඒ හා සසඳන විට අඩු ආදායමක් සහිතව තිරගතවීම ආරම්භ විය හැකි නමුත්, Sam Bahadur දෙසැම්බර් තෙවැනි සතිය දක්වා ස්ථාවර ආදායමක් ලබමින් තිරගත වනු ඇති බවට විශ්වාස කළ හැකි නිසා Sam Bahadur (නිර්භීත සෑම්), Animal (සත්ත්වයා)ට පහසුවෙන් බිලි නොවනු ඇති බව අපේක්ෂා කළ හැකියි.

උමේෂ් ද සිල්වා