රජය මඟින් වැඩි කළ රු 1700 වැටුප වතු කම්කරුවන්ට ගෙවීමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යළි රජයට පවරාගෙන වෙනත් සමාගම්වලට එම වතු, බදු පදනම මත ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගන් තොණ්ඩමන්ගේ 60 වන ජන්ම දිනය දිනට යෙදී තිබීම නිමිත්තෙන් එතුමා සිහි කිරිම සඳහා ඊයේ (29) හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රසයේ මුලස්ථානයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් කියා සිටියේ වැටුප් පරිපාලක සභාව විසින් මීට පෙර වතු කම්කරුවන්ට වැඩි කළ රු 1000 වැටුප සම්බන්ධයෙන් වතු සමාගම් අධිකරණය හමුවේ පනවා තිබු නඩුවක් යළි කැඳවු අවස්තාවේ එම නඩුව වතු කම්කරුවන්ට සාධනීය ලෙස පැවති බවයි.

එම නඩුව මේ මස (31) දින යළි කැඳවන බවත්, එහිදී වතු කම්කරුවන්ට එම වැටුප ගෙවන ලෙසට අධිකරණය මඟින් වතු සමාගම් වෙත තීන්දුවක් ලබාදෙන බවට තමන් ඇතුලු ලංකා කම්කරු කොන්ග්‍රසයේ සියළු දෙනා තුල විශ්වාසයක් ඇති බවත් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මෙහිදී ප්‍රකාශ කලේය.

මැයි දින රැලියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වතු කම්කරුවෙකුට දිනකට රු 1700 ක වැටුපක් ලබාදෙන බවට ප්‍රකාශයක් සිදු කළ බවත්, එම ප්‍රකාශයට විරෝධය පාමින් වතු සමාගම් විසින් කළ ප්‍රකාශය ඇතැම් වතු කම්කරුවන් විසින් පිළිගත් නමුත් අවසානයේ එම වැටුප වතු සමාගම්වලට ගෙවීමට සිදු වන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් වැඩිදුරටත් පවසා සිටියේ අවුරුදු 29ක තරුණයෙකු වන තමාගේ තරුණකමට වඩා ලංකා කම්කරු කොන්ග්‍රසයේ තමන් දරණ මහ ලේකම් ධුරය වගකිම් සහිත ධුරයක් නිසා එම තනතුර පදනම් කරගෙන සිදු කරන සැම ප්‍රකාශයක්ම වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.