පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 21 ක ජල සැපයුමට බාධා ඇති වී තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා ඇත.

කුරුණෑගල, හම්බන්තොට, අම්පාර, මොණරාගල, බණ්ඩාරවෙල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙම බලපෑම සිදු වී තිබේ.

එම ජල සම්පාදන ක්‍රමවල ජලය ලබා දීම මුර ක්‍රමය යටතේ සිදු කරන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි පවසා ඇත.

තවත් ජල සම්පාදන ක්‍රම 41 ක ජල මට්ටම පහළ යමින් හා ජල මූලාශ්‍රවල ගලා එන ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් ජල සම්පාදන ක්‍රමවල අඛණ්ඩ ජල සැපයුම ලබා ගැනීම සඳහා උපාය මාර්ග ගනිමින් සිටින බව සඳහන් වේ.

එමෙන්ම ගෘහ නොවන කටයුතු සඳහා ජලය භාවිත නොකර ගෘහස්ථ කටයුතු සඳහා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලිමක් ද කර ඇත.