වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙළදපොලේ පොලිතීන් ප්ලාස්ටික්  ඇතුළු නොදිරන ද්‍රව්‍ය  වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි දක්නට ලැබෙන අතර එවැනි නිෂ්පාදන පරිසර හිතකාමි නොවන බැවින් එම වෙසක් සැරසිලි භාවිතා නොකරන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටිනවා .

අංක 2034/37 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිඑතිලින් නිෂ්පාදන හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර එය දඬුවම් ලැබිය හැකි වරදක් බවද පෙන්වා දෙනවා.