ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍ය පනත යටතේ නඩු පවරා ඇත.

එලෙස පැවරූ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිතිඥ සංගමය සිය නිරීක්ෂණය යොමු කරන බව නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව සමාජ මාධ්‍ය පනත යටතේ පවරන ලද නඩුවක් සහ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කෙරෙහි බලපාන නඩුවක් බැවින් නිරන්තරයෙන් නිරීක්ෂණයට යොමු කරන බවයි.

ජනක රත්නායක මහතා විසින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළේ යැයි කියන පොල්වත්ත ආරච්චිගේ ගයත්‍රි බිම්බා,ඇතුළු හය දෙනකු , වට්ස්අප් හා ගූගල් සමාගමට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව පසුගිය 04වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදි. ගයත්‍රී බිම්බා විත්තිකාරිය සමග දැනට තායිවානයේ වාසය කරනවා යැයි කියන ජනක රාජපක්ෂ සහ ඕෂල හේරත්,ජයලාල් පෙරේරා,කල්ප හා කමන්ත තුෂාර යන විත්තිකරුවන්ට ද බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කරන ලදි.

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබු අතර අදාළ පනත යටතේ තහනම් ප්‍රකාශනවලට එරෙහිව අධිකරණයේ පවරන පළමු නඩුව වන්නේද මෙම නඩුව වේ.

මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා මැයි මස 02වැනි දිනට කල් තබන ලදි.