අද (05) පාර්ලිමේන්තුව වටරවුම අසල යෝජිත විදුලි පනතට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන “සර්වජන බලය”  එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07 සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

“සර්වජන බලය” එකමුතුවේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ,  ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙම සාමකාමී  උද්ඝෝෂණයට එක්ව සිටියහ.

නව  විදුලි පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන බවත් බාහිර රටවලින් විදුලිය මිලදීගැනීම සඳහා එම පනත මගින් ප්‍රතිපාද​න සලසා ඇති බවත් ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමග ​ශ්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබෙන බවත් එවිට ​ශ්‍රී  ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක්‍රි​යා කිරීමට සිදුවන බවත්  එම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ පෙන්වා දුන්හ.

රටේ බලශක්ති සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා නීතිය මඟින් ප්‍රතිපාද​න සලසා තිබූ රටක එම නීතිමය ප්‍රතිපාද​න පවා ඉවත් කර සමස්තය  පුද්ගලීකරණය කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්වන බව ඉතා පැහැදිලි බවත් ඔවුහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්හ.