සුඩානයේ ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 413 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත වාර්තාවලට අනුව ළමුන් 09 දෙනෙකුද ඊට ඇතුළත් බව ද වාර්තා වේ.

මෙම ගැටුම් හේතුවෙන් 3500කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සදහන් වේ.

හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සළකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක්, හමුදාවට එරෙහිව ආරම්භ කළ සටන් මේ වන විට උග්‍ර වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත.

එමෙන්ම සුඩාන ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින විදේශිකයින් මුදා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව සෞදි අරාබිය, සිය පුරවැසියන් ඉවත් කිරීම පළමුවෙන් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සුඩාන සන්නද්ධ හමුදා සහ අතුරු හමුදා යන දෙපිරිසම විදේශීය ජාතිකයන් ඉවත් කිරීමට සහය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක් සුඩානයේ රැඳී සිටින තම පුරවැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් වේ.

සුඩානයේ රැඳී සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක වේ.