පොලීසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා තෙවන වරටද අද (අප්‍රේල් 24) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි.

පළමු අවස්ථාවේ ඔහු නීතීඥයෙකු මාර්ගයෙන් පිටු හතක විරෝධතාවක් ගොනු කළ අතර, පසුගිය සිකුරාදා දෙවන වරට කැඳවූ අවස්ථාවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමග පැවති සාකච්ඡාවක් හේතුවෙන් තමන්ට පැමිණීමට නොහැකි වූ බව දැනුම් දී තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

පසුගිය 19 වන දා ප්‍රථම වතාවට ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණත් ඔහු එවර එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි අතර ඒ වෙනුවෙන් නීතිඥවරයෙක් සහභාගී විය.

පසුව ඉකුත් 21දාත් හිටපු නීතිපතිවරයාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද එවර ද ඔහු එම කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව තෙවන වරට හිටපු නීතිපතිවරයාට අද (අප්‍රේල් 24) උදෑසන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර ඇත.

මෙවර ද ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී නොසිටින්නේ නම්, ඒ බව අධිකරණයට දැනුම්දී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බලාපොරොත්තු වෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා විශ්‍රාම යාමට මත්තෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා දප්පුල ද ලිවේරා මහතා මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා 2021 වසරේ රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වී තිබේ.