විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද(24) පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පැවැත්විය.

ජාත්‍යන්තරය සමග ගණුදෙනු නොකර, ළිං මැඩි සංකල්පය තුළ හිඳිමින් රටකට පෙරට යා නොහැකි බවත් අප යුත්තේ ජාත්‍යන්තර සමග සංවාදශීලී වැඩපිළිවෙළක් හරහා හොදම දේ දිනාගැනීම බවත් එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත් විපක්ෂනායකවරයා අවධාරණය කර ඇත.

PTA සහ ATA වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහිදී විපක්ෂනායකවරයා පවසා ඇති අතර , ඊට මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග, ඇතුළුව මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒ සඳහා සුදුසු ලෙස පත්තර ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂය නියෝජයන කරමින් මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.