හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී ඊයෙ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔහු පවසන්නේ මේ හාල් ප්රශ්නය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට ඒ පිලිබඳ දැනුමක් නොමැති බවයි.
එහිදි අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
‘‘ආණ්ඩුව බලයට පත්වීමට කලින් හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කරා. නමුත් බලයට පත්වීමෙන් පස්සෙ ඔවුන් සමග එකඟතාවකට ඇවිත් හාල් මිල ඉහළ දැමීමට කටයුතු කරා. ජනාධිපතිතුමා මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගාණකින්, හාල් මෝල් හිමියන්ට එකඟ වෙන ගාණකින් හාල් මිල වැඩි කරන්න නම් මොකක්ද ඒ ජනාධිපති ධුරයේ තත්ත්වය? වී කිලෝ 100කින් නිපදවන්න පුළුවන් හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කරත්, ලංකාවේ හාල් හිඟයක් නෑ.
මහ මෝල් හිමියන් කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට දෙකයි දශම පහයි හදන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට අටක් හදන්න පුළුවන් කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඉන්න මාරඹේ මැතිතුමා ඇතුළු අය කියනවා නෑ හැත්ත දෙකක් පුළුවන් කියලා. කුඩා මෝල් හිමියෝ කියනවා පනස් දෙකයි පුළුවන් කියලා. ඇත්තටම මේ පවරගත්ත පනස් දෙක ගත්තත්, හැට දෙක ගත්තත්, හැට අට ගත්තත්, හැත්තෑ දෙක ගත්තත් ලංකාවේ හාල් හිඟයක් නැහැ. මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම.
එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඉතාම පැහැදිලියි මේ බෙදා හැරීම සහ සහල් තොග පවත්වා ගැනීම පිළිබඳව විධිමත් දැනුමක් වෙළඳ ඇමතිට හෝ කෘෂිකර්ම ඇමතිට හෝ ජනාධිපතිට හෝ ඒ අදාළ ආයතනවලට නෑ.” බවයි.
තවදුරටත් අදහහ්ස් දැක්වූ පාටලී චම්පික රණවක,
“හාල් මිල පාලනය කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට. එම වගකීම ඔහු නිසි ලෙස ඉටු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. වසන්ත සමරසිංහ මැතිතුමා වාණිජ ඇමති හැටියට දිවුරුම් දෙද්දී එතුමාගේ ගැසට් නිවේදනයේ, එතුමා බලයට පත් කරපු ගැසට් නිවේදනයේ, බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ මේ ගැසට් නිවේදනයට අනුව තමයි, මේ නිල ලියවිල්ලට අනුව තමයි එතුමාට මේ බලය ලැබිලා තියෙන්නේ. අලි ගම් වැදිලා මේ විනාශ වෙනවා. මාෆියාකාරයෝ හාල් හංගං ඉන්නවා වගේ උත්තර දෙන්න බෑ. මේක තමයි ඔහුගේ වගකීම. ඒ නිසා ඒ වගකීම ඔහු ඉටු කරනවා ඇතියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ලංකාවට අදටත් ගෙන්නන ප්‍රධාන ආහාර ද්‍රව්‍යවලින් සීයට හැට පහක් ගෙන්වනේ රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලපත්‍රවලින්; විශේෂයෙන් ම අර තාවකාලික බලපත්‍රවලින්. ඒකෙන් රටට කිසිම ආදායමක් දෙන්නෑ. අන්න ඒ හොර කවුළුව මේ රජය නැවතත් විවෘත කරලා තියෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු යි. ඒ නිසා ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”