අද (29) හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහු චෝදනා ලබා සිටින අතර එම නඩුව කැදවු අවස්තාවේදී විත්තිකාර ෆවුසි මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් අදාළ නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ හිටපු අමාත්‍ය ෆවුසි මහතා චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද දින අධිකරණයට නොපැමිණි බවයි.

ඒ පිළිබඳ තහවුරු කරන වෛද්‍ය වාර්තාවක්ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.