කොළඹ නගරයට එක්වන නවතම සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ සිට ශ්‍රී ලංකාව තුළ අතිසුඛෝපභෝගී අත්දැකීමක් ලබා ගත හැකි හෝටල් අතරට එක් වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය 2024 අප්‍රේල් 25 වැනි දින විවෘත කිරීමට නියමිතව ඇත.

එහි සමාරම්භක උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජාද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කීර්තිමත් ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර ඇති අතර එය ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය වීමද විශේෂත්වයකි.

කොළඹ ගාලුමුවදොර අවකාශයට එක්වන මෙම සුපිරි හෝටලය, මෙරට පළමු වරට දැකගත හැකි AHASA ONE Sky Bridge නමින් හැඳින්වෙන අහස් පාලමකින්ද සමන්විත වේ.