සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශාන් ගනේගොඩ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැත්වූ දුරකතන සංවාදයක් පියත් නිකේෂල ත​ම Youtube ගිනුමෙ​හි පලකර තිබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

වාර්තා වන පරි​දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ අදාළ වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු එකක් බවයි.

පියත් නිකේෂල මහතා මීට පෙර 2023 වසරේ ජූනි 26 වැනිදාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අත​ර ඒ 2022 වසරේ ජූලි 9 වන දා අරගලකරුවන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වු අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

එමෙන්ම 2023 මැයි 10 වැනිදා තලංගම කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී පියත් නිකේෂල ගමන් ගත් වාහනයට කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති පොදුජන පෙරමු​ණේ මන්​ත්‍රී චන්දික අබේරත්න සිදුකළ පහරදීමක් හේතුවෙන් මීට පෙර ඔහු තුවාල ලබා තලංගම රෝහලටද ඇතුලත් කෙරිණ.