ඊයේ (19) දිනයේදී නැගෙනහිර අසර්බයිජානයට ආසන්න ජොල්ෆා ප්‍රදේශයේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඉරාන ජනපති ඇතුළු එහි ගමන්ගත් සිව්දෙනා ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුරෙන් ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලයියාන්, නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ආණ්ඩුකාර මලික් රහ්මති සහ තබ්රිස් පළාතේ ඉමාම්වරයා වූ මුහම්මද් අලි අල් හෂීම් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු හෙට (21) දිනයේදී සිදු කිරීමට නියමිත බව Tehran Times පුවත් සේවය වාර්තා කරනවා.

මේ අතර අනතුරින් ජීවිතක්ෂයට පත් ජනාධිපතිවරයා සහ ඔහු සමග ගමන්ගත් සෙසු පිරිස වෙනුවෙන් එරට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන අධ්‍යත්මික නායක අයතොල්ලා අල් කමේනි කටයුතු කර ඇති බව සදහන්.

හමාස් සංවිධානයද ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ වියෝව සම්බන්ධයෙන් සහෝදර ඉරාන ජනතාව සමඟ දුක සහ වේදනාවේ හැඟීම් බෙදාගන්නා බවත් ඉරානය සමඟ සම්පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවටත් ය .