වාරණ නියෝගයක් නොතකමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට සිතාසි නිකුත් කර ඇත.

ඒ අනුව, එළැඹෙන 27 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන දිසා අධිකරණය විසින් ජනක රත්නායකට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනක රත්නායකගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ගයත්‍රි බිම්බා නම් කාන්තාවක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ගයත්‍රි බිම්බා විසින් ජනක රත්නායකට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම, කාන්තා හා ළමා කාර්යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවලද පැමිණිලි ගොනු කර ඇති අතර ලිංගික දර්ශන යොමුකරමින් තමන්ට හිරිහැර සිදු කරන බව සඳහන් කරමින් අධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම නඩුවට අදාළව ජනක රත්නායකට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති අතර ඔහු විසින් එම වාරණ නියෝගය උල්ලංඝණය කර ඇති බව සඳහන් වේ.