ගංවතුර තත්ත්වයන් ක්‍රමයෙන් අඩුවෙමින් පැවතිය ද ගංවතුරේ බලපෑම ඇතැම් ස්ථානවල තවදුරටත් පවතිනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගංවතුර අවධානම හේතුවෙ​න් ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇත.

කැලණි ගඟේ ජලමට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ජල ගැලීම් තත්ත්වයත් සමග විවිධ ලෙඩ රෝග පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවත් අනවශ්‍ය පරිදි ගංවතුර පවතින ප්‍රදේශ වෙත යෑමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටිනවා .

මේ අතර ගංවතුරෙන් ආපදාවට ලක්වූ පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු ස්ථානවල වතුර බැස යාමෙන් පසු යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි