රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 24කට පසු ප්‍රථම වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එහිදී පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී පියොංයැං අගනුවරදී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

නායකයන් දෙදෙනා අවසන් වරට හමුවූයේ සැප්තැම්බර් මාසයේදී රුසියාවේ ඈත පෙරදිග පිහිටි Vostochny cosmodrome හිදී වන අතර, නමුත් 2000 වසරෙන් පසු පුටින් පියොංයැං වෙත පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය මෙම සිදුවීම ‘මිත්‍රශීලී රාජ්‍ය සංචාරයක්’ ලෙස විස්තර කර ඇති අතර පුටින් සහ කිම් ආරක්ෂක ගැටලු ඇතුළු හවුල් ගිවිසුමකට අත්සන් කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරුණු වාර්තා කරයි.

මෙම සංචාරයේදි රුසියානු ජනපතිවරයා ප්‍රසංගයක් නැරඹීමට සහ උතුරු කොරියාවේ එකම ඕතඩොක්ස් පල්ලිය වන පියොංයැංහි පල්ලිය නැරඹීමට ද එක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2019 වසරේ උතුරු කොරියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී චීන නායක ෂී ජින්පින් අවසන් වරට නවාතැන් ගත් පියොංයැං හි කුම්සුසාන් ආගන්තුකාගාරයේ පුටින් රැඳී සිටිනු ඇති බවටයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ.

තවද පුටින් ඔහුගේ නව ආරක්ෂක ඇමැති ඇන්ඩ්‍රි බෙලූසොව් සමඟ පැමිණීමට අපේක්ෂා කරන අතර විදේශ ඇමැති සර්ජි ලැව්රොව් සහ නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ද නියෝජිත පිරිසට සහභාගී වනු ඇත.

ෞතුරු කොරියානු ජනපති කිම් පසුගිය සතියේ ප්‍රකාශ කළේ රුසියාව සමඟ ඇති සබඳතා එකිනෙකා අතර නොබිඳිය හැකි සබඳතාවක් දක්වා වර්ධනය වී ඇති බවයි.

කෙසේ නමුත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ රුසියාව සහ උතුරු කොරියාව අතර සමීප සබඳතා පිළිබඳ එක්සත් ජනපදය සැළකිලිමත් වන බවයි.

“පුටින්ගේ ගමන ගැන අපි සැළකිලිමත් නැහැ. අපි කණස්සල්ලට පත්වන්නේ මෙම රටවල් දෙක අතර ගැඹුරු වන සම්බන්ධතාව ගැනයි..” යැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ඊයේ විදෙස් මාධ්‍යය වෙත පවසා ඇත.

මෙම උතුරු කොරියානු සංචාරයෙන් අනතුරුව පුටින් කොමියුනිස්ට් රාජ්‍යයක් සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන වියට්නාමයට පැමිණීමට අපේක්ෂා කරන අතර එහිදී දෙරටේ වෙළෙඳාම වැනි කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇත.