කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත් එ​ම වාර්තා වල​ට අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා

ඒ අනුව මෙම ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සදහන් කළා

ඊයේ (26) පස්වරුවේ  රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදි එතුමා මෙ​ම අදහස් පලකර තිබෙනවා

පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත්, ස්වභාවික හේතූන් මෙන්ම අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් ද ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව හඳුනා ගත් බවත් සාගල රත්නායක තවදුරටත් පවසා සිටියා

ඒ අනුව ඉදිරියේදී නැවත එවැනි ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් පවසා සිටියා