සුවහසක් බොලිවුඩ් රසිකයන් කම්පා කරමින් 2020 වසරේදී සිදු වූ සුපිරි නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ අභිරහස් මරණය සමඟ බොලිවුඩ් චිත්‍රපට වර්ජනය කිරීමේ රැල්ලක් වර්ධනය වී තිබුණා. එම මරණය, ක්ෂේත්‍රයේ අවස්ථාවන් ක්ෂේත්‍රයේ ඉහළ සම්බන්ධතා ඇති අයට සහ ප්‍රවීණ ශිල්පීන්ගේ දරුවන්ට ලබා දීමෙන් (Nepotism) අනෙක් ශිල්පීන්ගේ අවස්ථා අහිමි කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවටයි රසිකයන් චෝදනා කළේ. කංගනා රනාවුත් වැනි ක්ෂේත්‍රය තුළ සිටින ශිල්පීන්ද එය අනුමත කිරීම බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය වෙත ඉතා අයහපත් ලෙස බලපා තිබුණා. මින් සිදු වූයේ බොලිවුඩය වර්ජනය කරන රැල්ල තව දුරටත් ව්‍යාප්ත වීමයි. ඇතිවූ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගත් බොලිවුඩ් සිනමා විරෝධීන් ද බොලිවුඩය වර්ජනය කිරීමේ රැල්ල ඉදිරියට ගෙන ගියා. නව නිර්මාණ සිදු නොවීම සහ වැඩි වශයෙන් දමිළ සහ වෙනත් භාෂාවල සිනමා නිර්මාණ සීමාව ඉක්මවා ප්‍රතිනිර්මාණය (Remake) කිරීම හේතුවෙන් ද බොලිවුඩයට දැවැන්ත රසික අප්‍රසාදයක් ගොඩනැගමින් තිබුණා. කෝවිඩ් 19 හේතුවෙන් අඩපණ ව තිබූ බොලිවුඩ් සිනමාවට මෙය මරු පහරක් වූයේ, සාපේක්ෂව හොඳ තත්ත්වයේ නිර්මාණ පවා Boycott Bollywood රැල්ල හමුවේ දියාරු වී යාම ආරම්භ වීමත් සමගයි. එපමණක් නෙවෙයි සමකාලීනව නිර්මාණය වූ දමිළ, කන්නඩ, මලයාලම් හ තෙළිඟු සිනමා නිර්මාණ සාපේක්ෂව උසස් මට්ටක තිබූ බව දක්නට ලැබුණු අතර, රසිකයින් ඇඳ බැඳ ගත් Baahubali (2015), Baahubali The conclusion (2017), KGF (2018), KGF 2 (2022), Pushpa (2021), RRR (2022) වැනි දැවැන්ත නිර්මාණ ද බිහි වූයේ බොලිවුඩ් සිනමාව බිත්තියටම හිරකරමින්.

#Boycottbollywood #Saynotonepotism #Saynotobollywood වැනි හැෂ්ටැග් සමාජ මාධ්‍යජාල පුරා පැතිර යද්දී බොලිවුඩ් චිත්‍රපට පරයමින් දමිළ, කන්නඩ, මලයාලම් හා තෙළිඟු සිනමා නිර්මාණ ජනප්‍රිය වූයේ නිරායාසයෙන්. බොලිවුඩයේ කිසිදු තරුවකට මෙම ආගාධයෙන් බොලිවුඩය ගලවාගැනීමේ හැකියාවක් තිබෙන ආකාරයක සේයාවක් හෝ දකින්නට ලැබුණේ නැහැ. මෑතදී තිරගත වූ සෑම චිත්‍රපටයම පාහේ පිට පිටම බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තැබූ සුපිරි නළු ආමීර් ඛාන් අවසන් වරට රඟපෑ චිත්‍රපටය වන Laal Sing Chadda (2022) පවා අසාර්ථක වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. KGF පන්නයේ මහා පරිමාණයේ ක්‍රියාදාම චිත්‍රපටයක (Action packed mega production) අඩුව මෙන්ම බොලිවුඩ් වර්ජනයට අභියෝග කළ හැකි ප්‍රවේශයක් බොලිවුඩ් සිනමාවට අත්‍යාවශ්‍යව තිබුණා. එවැනි පසුබිමක් තුළ 2023 වසර සඳහා අති සාර්ථක ආරම්භයක් ලබා දීමට වසර හතරක දිගු නිහැඬියාවකින් පසු නැවත සිනමාවට පැමිණි ශාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටය සමත් වුණා. එම සාර්ථකත්වය සමගින්ම Boycottbollywood රැල්ලේ පසුබෑමක් දක්නට ලැබුණු අතර, එම හේතුවෙන් ඉන් පසුව තිරගත වූ හින්දි සිනමා පට කිහිපයකටම රිදී තිරයේ සාර්ථක වන්නට හැකියාව ලැබුණා. නමුත් තවමත් බොලිවුඩ් සිනමාව එකී අඳුරු වළාවෙන් සම්පූර්ණයෙන් මිදී නැහැ. එයට හොඳම නිදසුන් ලෙස පසුගිය දා තිරගත වූ Adipurush සහ Lust Stories 2 වෙත ලැබුණු ප්‍රතිචාර පෙන්වා දිය හැකියි.

කෙසේ වෙතත්, මෙම තත්වයෙන් බොලිවුඩ් සිනමාව ගලවාගත හැකි නිර්මාණයක් වේ නම් එය ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන Jawan (සෙබළා) චිත්‍රපටය වනු ඇති බවටයි සුවහසක් බොලිවුඩ් ලෝලීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ. Jawan වසරේ වැඩිම ආදායමක් ලබන චිත්‍රපටය බවට පත්වනු ඇති බවට උපකල්පනය කර තිබුණේ 2022 වසරේ චිත්‍රපට නාමය නිවේදනය (Title announcement) කළ අවස්ථාවේදීම යි. චිත්‍රපටය නිකුත් වන දිනය වරින් වර වෙනස් කෙරුණත්, එහි පූර්ව ප්‍රචාරක පටය (Trailer) නිකුත් වන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි රසිකයින්හට අස්වැසිල්ලක් ලබා දෙමින් Jawan පූර්ව ප්‍රචාරක පටය පසුගිය10 දා අන්තර්ජාලයට මුදා හැර තිබුණා. නිකුත් වී පැය 24 ගත වීමට මත්තෙන් නැරඹුම් වාර මිලියන 45 පසුකිරීමට සමත් වූ එය, නිකුත් වී පළමු පැය 24 තුළ හින්දි භාෂාවෙන් නිකුත් වූ පූර්ව ප්‍රචාරක පටයක් වාර්තා කළ වැඩිම නැරඹුම් වාර ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට ද පත්වුණා. එපමණක් නොවේ, පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී මුල් පැය 24 අවසානයේ අන්තර්ජාලයේ සම්පූර්ණ නැරඹුම් වාර මිලියන 112ක් Jawan ඉදිරියේ සටහන් වී තිබුණා. ක්‍රියාදාම/ ත්‍රාසජනක ශානරයේ චිත්‍රපටයක් ලෙස හඳුන්වාදිය හැකි Jawan චිත්‍රපටය උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමාවේ සංකලනයක් යැයි හැඳින්වූවාට වරදක් නැහැ. එම නිසාම එය බොලිවුඩ් විරෝධී කිසිඳු අභියෝගයකට යටත් කළ නොහැකිවනු ඇති බවටද විශ්වාස කළ හැකියි.

Jawan යනු Raja Rani, Theri, Mersal, Bigil වැනි ජනප්‍රිය දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ, දකුණු ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකු වන අත්ලී කුමාර්ගේ කුළුඳුල් හින්දි සිනමා අධ්‍යක්ෂණයයි. අනිරුද් රවිචන්ද්‍රන්ගේ සංගීතයෙන් හැඩ වී ඇති Jawan චිත්‍රපටය Red Chillies Entertainment වෙනුවෙන් ශාරුක් හා ගෞරි ඛාන්ගේ නිෂ්පාදනයක්. Jawan හි ප්‍රධාන නිළි චරිතය සඳහා දකුණු ඉන්දීය සුපිරි නිළි නයන්තාරා රංගනයෙන් දායක වන අතර, ප්‍රතිවීර චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ දකුණු ඉන්දීය සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පියෙකු වන විජේ සේදුපති යි. මීට අමතරව ශනායා මල්හෝත්‍රා, ප්‍රියාමනී අයියර්, යෝගී බාබු, සුනිල් ග්‍රෝවර් වැනි ජනප්‍රිය උතුරු සහ දකුණු ඉන්දියානු නළු නිලි කැලකගේ රංගනයෙන් විචිත්‍රවත්වන Jawan චිත්‍රපටය සඳහා සුපිරි නිලි දීපිකා පඩුකෝන්, තලපති විජෙයි සහ සංජේ දත් යන සුපිරි තාරකාවන් ගරු රංගනයෙන් (Cameo) දායක වන බවයි වාර්තා වන්නේ.

පූර්ව ප්‍රචාරක පටය පුරාවට මින් පෙර චිත්‍රපටවල දැකගන්නට නොලැබුණු ආකාරයේ විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටින ශාරුක් ඛාන්, Jawan සහ එහි තිර කථාව පිළිබඳව රසිකයින් තුළ නොසංසිඳෙන කුතුහලයක් නිර්මාණය කර අවසානයි. එමෙන්ම, මේ වන විටත් Jawan හි ඩිජිටල් විකාශන අයිතිය සහ සංගීතය (Digital satellite and music rights) ඉන්දියානු රුපියල් කෝටි 250 කට මිළදි ගෙන අවසන් බවයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස වාර්තා වන්නේද ඉන්දියානු රුපියල් කෝටි 250කට ආසන්න මුදලක්.

PAN India චිත්‍රපටයක් ලෙස හින්දි, තෙලිඟු හා මලයාලම් භාෂාවන්ගෙන් සැප්තැම්බර් 07 දා සිට තිරගත කිරීම ඇරඹීමට නියමිත Jawan චිත්‍රපටය, ලොවපුරා බොලිවුඩ් රසිකයින් අපේක්ෂා කරන ආකාරයෙන්ම Boycottbollywood රැල්ල සුණු විසුණු කර දමයි ද? අපි බලා සිටිමු.

උමේෂ් ද සිල්වා