ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කෙඩෙට් නොවන නවක සිවිල් සිසුන් බදවා ගැනීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

එම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිගනිමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ (04)  එහි තීන්දුව ලබා දී තිබේ.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ සමත් සිසුවකු මෙම පෙත්සම ගොනුකර තිබිණි.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ එහි කුලපතිවරයා ඇතුළු පිරිසක් නම් කෙරිණි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට උපාධි පාඨමාලා හැදෑරීම සඳහා කෙඩට් ඇතුළු ආරක්ෂක අංශ සිසුන් ඇතුළත් කර ගැණුනු අතර 2012 වසරේ සිට සිවිල් සිසුන්ටද එම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දී තිබූ බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

ඒ අනුව එම විශ්වවිද්‍යාල පනතේ 4 වන වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකරමින් සිවිල් සිසුන් බඳවා ගැනීම, ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම, පුහුණුව ලබා දීම යනාදී කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කරුට මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා නීතිමය අයිතියක් නොමැති බවත් මෙම පෙත්සමේ අත්‍යවශ්‍ය පාර්ශව වගඋත්තරකරුවන් ලෙස නම්කර නොතිබීම යන කරුණු මුල් කරගෙන එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභා කරන ලෙසත් ඉල්ලා ඇත.

එම මූලික විරෝධතාව පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය හෝ අතුරු තහනම් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ප්‍රකාශ කරමින් අදාළ පෙත්සම නිශ්ප්‍රභා කර තිබේ.