ඉදිරි මැතිවරණ සමයේ  ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙසත්, ඊ​ට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ලිපියට අනුකූලව කටයුතු කරන ලෙසත් ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2024 අයවැය යෝජනා යනුවෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අමතරව “කඳුකර දශකය” නමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යෝජනා කර ඇති බවත් සඳහන් කළේය.

මෙම ව්‍යාපෘති 2කම මෙම වසරේ ජූලි 31 වනදා වනවිට අවසන් කළ යුතු බවට නිවේදනය කර ඇති බවත්, මෙම ව්‍යාපෘතී ඉටුකිරීම සඳහා ප්‍රජා කමිටුවලට මිලියන 10 බැගින් මුදල් වෙන්කිරීමටද තීරණය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා බාරදුන් අපේක්ෂකයින් මෙම ප්‍රජා කමිටුවල කටයුතු කරන බවත් මෙම ව්‍යාපෘති හරහා ඔවුන්ට දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.

එම නිසා එවැනි අපේක්ෂකයින්ට රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර නොගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන් දැනුවත් කරන්නැයි දන්වා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉකුත්දා ලිපියක් යොමුකර තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා පළාත් පාලන ඡන්ද විමසීමේදී දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා  සිටියි.