“ද ෆ්ලයි” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහොමඩ් අම්රි නම් සිරකරුවෙකු ප්‍රංශයේ පොලිස් ග්‍රහණයෙන් පළායාමට සමත් වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මෙම සිරකරු පළා ගොස් තිබුණේ, තවත් පිරිසකගේ සහායෙන් වන අතර ඔ​හු සොයා එරට උතුරුදිග නෝමැන්ඩි කලාපයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වී තිබේ.

නඩු විමසුමකින් පසුව ආපසු බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදී ඔහු මෙලෙස පළා ගොස් ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර රථ පෙළ අධිවේගී පිවිසුමකින් පිටතට පැමිණෙමින් තිබියදී එය අවහිර කළ මෝටර් රථයක පැමිණි සන්නද්ධ කල්ලියක් එම රථවලට සහ බන්ධනාගාර නිලධාරීන්ට වෙඩිතබා සිරකරු ද සමග පළාගොස් තිබුණි.

එ​ම වෙඩිතැබීම්වලින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද මියගොස් තිබේ.

මොහොමඩ් අම්රිට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර මීට පෙරද ඔහු බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ කළ අයෙකි.

මොහොමඩ් අම්රි සෙවීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් 200ක් පමණ යොදවා ඇති අතර අපරාධකරුවන් භාවිත කළ බවට සැකකෙරෙන මෝටර් රථ දෙකක් සොයා ගැනීමට ඔවුන් සමත්ව තිබුණි.