ලොව වැඩිම අනුගාමිකයින් (Followers) පිරිසක් සහිත Tik Tok ගිණුමට හිමිකම් කියන ජනප්‍රිය Tik Tok ප්‍රහසන තරුවක් වන ඉතාලි ජාතික Khaby Lame සිනමාවට පිවිසීමට නියමිත බව වාර්තා වනවා. මෙතෙක් නමක් යොදා නොමැති මෙම චිත්‍රපටය තාවකාලිකව හඳුන්වා ඇත්තේ 00KHABY ලෙසයි. spy-comedy ශානරයේ චිත්රපටයක් වන මෙහි Khaby ආහාර බෙදාහරින්නෙකු (Food delivery rider) ලෙස කටයුතු කරන CIA නිළධාරියෙකුගේ චරිතය රඟදක්වන බවයි වාර්තා වන්නේ.

 

මෙම චිත්‍රපටයෙහි ක්‍රියාදාම දර්ශන සඳහා ද අදේශක නළුවෙකු (Stunt man) යොදා නොගෙන Khaby Lame විසින්ම එම රංගනයන් සිදු කරන බව වාර්තා වන අතර, චිත්‍රපටයේ රූගත කිරීම් ඉතාලිය, ඇමරිකාව, ප්‍රංශය, ඩුබායි ඇතුළු රටවල් කිහිපයකදීම සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ. Nicola Guaglianone සහ Roberto Marchionni යන ඉතාලි ජාතික රචකයින් විසින් චිත්‍රපටය තිරරචනය සිදු කරමින් පවතිනවා. රටවල් ගණනාවක නැවත නිර්මාණය කළ Perfect Strangers (2016) නිෂ්පාදක Marco Belardi මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා වන අතර, ඔහු පවසා ඇත්තේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යක්ෂකවරයෙකු සොයමින් පවතින බවයි. මීට අමතරව මෙම චිත්‍රපටය සඳහා ආරාධිත රංගනයක් (Cameo) සඳහා හොලිවුඩ් නළු Will Smith එක් වන බවද නිල නොවන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.