ඇමරිකානු නීති සම්පාදකයින්ගෙන් සමන්විත දූත පිරිසක් ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා තායිවානයේ ‘තායිපේ’ නුවර වෙත පැමිණ ඇති බව තායිවාන පුවත් සේවය වාර්තා කරනවා.

අදාළ දූත පිරිස තායිවානයේ නව ජනාධිපති ලායි චිං ටේ ප්‍රමුඛ නව රජයේ නිලධාරීන් පිරිසක් හමුවීමට නියමිත බවත් එහි සදහන් වේ.

එක්සත් ජනපදය සහ තායිවානය අතර සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ඇමරිකානු නියෝජිතයින් පිරිස තායිපේ නුවර වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

එම පිරිසට ඇමරිකා​වේ විදේශ කටයුතු කමිටුවේ රිපබ්ලිකන් සභාපති මයිකල් මැකෝල් ද ඇතුලත් වන අතර ඔවුන්ගේ සංචාරය මැයි 30 වැනි දා දින අවසන් වීමට නියමිතයි.

අදාළ සංචාරය අතරතුර, නියෝජිත පිරිස තායිවාන සබඳතා, කලාපීය ආරක්ෂාව, වෙළඳාම සහ ආයෝජන මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන වෙනත් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

ඇමරිකානු නියෝජිත පිරිස එලෙස තායිවානයට පැමිණ ඇත්තේ චීනය විසින් තායිවානය ආසන්නයේ දින දෙකක මහා පරිමාණ යුධ අභ්‍යාසයක් සිදු කිරීමෙන් දින කිහිපයකට පසු වීම ද විශේෂත්වයක්.