ඊයේ (20) පෙරවරුවේදී රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව අද ( 21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදි අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී ඔවුන්ට දැනුම්දී තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 20 වනදා සඳහන් කළ අතර අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරොන්දුව පිළිබඳව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වර්ජනයේ නිරත නිලධාරින් සඳහන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.