මියන්මාර හමුදා රජය හමුදා සේවයට බඳවා ගැනීමට සුදුසු වයසේ පසුවන පිරිමි පුද්ගලයින් ට රැකියා සඳහා විදෙස් ගතවීම තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මියන්මාර හමුදා බලධාරීන් විසින් සති කිහිපයකට ඉහතදී හමුදා සේවය අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබූ අතර ඒ සමගම බොහෝ පිරිසක් එරටින් පැනයාමට උත්සාහ කළ අතර සමහරුන් මේ වනවිටත් අසල්වැසි රටවලට පැනගොස් තිබේ.

මේ හේතුවෙන් පිරිමි පුද්ගලයින් සඳහා විදෙස් රැකියා බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇති බව සඳහන් ය.

මියන්මාර ජාතිකයින් විශාල පිරිසක් ආසියානු රටවල් රැසක රැකියා කරන අතර ශ්‍රමිකයින් ලෙස එරට වැසියන්ට විදෙස්ගත වීමට බාධාවක් නොතිබුණි.

නමුත් රට තුළ සිවිල් යුද්ධයක් පවතින බැවින් මෙම සීමා පැනවීමට හමුදා පාලකයින් තීරණය කර ඇති බව සඳහන් ය.

මාස කිහිපයක් කැරළිකරුවන් හමුවේ ලැබූ පරාජයන් හේතුවෙන් “හමුදා සේවය” අනිවාර්ය කිරීමට මියන්මාර හමුදා පාලකයෝ කටයුතු කළහ.

එතැන් සිට මේ දක්වා 100,000ක පමණ පිරිසක් විදෙස් ගත වීම සඳහා අයදුම් කර තිබූ අතර නමුත් එම අවස්ථා අත්හිටුවීමට පාලකයින් ක්‍රියා කර ඇත.

විශේෂයෙන් ම මියන්මාර​යේ වයස අවුරුදු 18ත් 35ත් අතර පිරිමි පුද්ගලයින් සඳහා මෙම තහනම බලපවත්වයි.