හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දුන් ප්‍රකාශය සම්බන්ධව කඩිනමින් විමර්ශන සිදුකර අපරාධමය වරදක් කර ඇත්නම් සුදුසු පියවර ගැනීමට පියවර ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඒ, මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලබා දුන් ප්‍රකාශය සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳ වූ අවස්ථා​වේ දියි.

නඩුව කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ ජන අරගල ව්‍යාපාරයේ පුරවැසියෝ යන අයගේ ගොනු කර ඇති පැමිණිලි සම්බන්ධව ද  විමර්ශණය කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ රජිත ලක්මාල්, පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාගය අවසානයේ මෛත්‍රීපාල සිරිසේන වරදකරු වී ඇති බවත් මේ වන විටත් ඔහු එම පෙත්සම්කරුවන්ට වන්දි ගෙවමින් සිටින අයෙක් බව පවසා ඇත.

මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ප්‍රකාශය සත්‍ය අසත්‍ය ද හා වැඩිමනක් කරුණු අධිකරණයට නොපවසා සගවාගෙන සිටින්නේ නම් ඒ සම්බන්ධව කඩිනම් විමර්ශන කලයුතු බවත් නීතිඥවරයා කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා ඇති අත​ර නඩුව ජුනි 26 යළි කැඳවීමට නියමිතයි.