පොදු ව්‍යාපාර පිළිබඳ කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැහැදිලි කිරීමක් කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

” වසර 25 කට ආසන්න සිය රාජ්‍ය සේවයේ අත්දැකීමුත්, වසර 20 කට ආසන්න විගණනය, රාජ්‍ය මූල්‍ය, ආදායම් කළමනාකරණය පිළිබඳව තිබෙන වෘත්තීමය පළපුරුද්දත්, පශ්චාත් උපාධිය ඇතුලු ශාස්ත්‍රීය අධ්‍යාපන පසුබිමත් පදනම් කරගෙන පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවක් මෙහෙයවීමේ අත්දැකීම් ද කැටි කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද දින කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිලිබද කමිටු සභාපති ධූරයේ වගකීම භාර ගැනීම සඳහා ඉදිරිපත් විය.

නමුත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් වෙනත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම නිසා ඡන්ද විමසීමක් සිදු වූ අතර එම ඡන්ද විමසීමේදී තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට පොදුජන පෙරමුණ සමත් විය.

පාර්ලිමේන්තුව තුළ තිබෙන කෝප් කමිටුව, මුදල් කමිටුව වැනි කමිටු වල වෘත්තීය භාවය ආරක්‍ෂා කර ගනිමින් ඒ කමිටු තුළ තිබෙන අභිමතාර්ථ උපරිම වශයෙන් ඉටු කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෘත්තීකයන්ගේ දැනුම පාවිච්චියට ගත යුතුය.

පාර්ලිමේන්තුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ බිඳවැටී තිබෙන ජනතා විශ්වාසය නැවත නගා සිටුවිය හැකි වන්නේ එවැනි වෙනසකින් පමණි. කෝප් සභාපති ධූරය සඳහා ඉදිරිපත් වෙමින් ගරු ගාමිණී වලේබොඩ මහතා උත්සාහ කළේ එම ප්‍රගතිශීලී ප්‍රවේශය ලබා ගනු පිණිස ය. එම අවස්ථාවේදී එතුමා වෙත සහය පළ කළ සියළු දූරශර්ශී මහජන නියෝජිතයන් වෙත අප අපගේ ස්තුතිය පුද කළ යුතු ය.

ගරු ගාමිණී වලේබොඩ මහතා ඉදිරියටත් කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිය දැනුම සහ පරිචය රටේ ජනතාව වෙනුවෙන් භාවිතා කිරීමේ අභිලාෂයෙන් පසු වේ. මෙම පාර්ලිමේන්තු කමිටු පක්ෂ සහ විපක්ෂ දේශපාලන බලය පෙන්වන වේදිකා කර නොගෙන පූර්ණ වෘතීය භාවයෙන් යුතුව ඒවා පවත්වා ගන්නේ ඉන් ඉතා අගනා වැඩ කොටසක් ඉටුකල හැකිය.

කෙසේ වෙතත් අලුතෙන් පත් වූ කෝප් කමිටු සභාපතිතුමාට ගරු ගාමිණී වලේබොඩ මහතා සිය සුභපැතුම් එක් කරන අතර කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තමා ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටින බව එතුමා සියළු මාධ්‍ය ආයතන වෙත දන්වා සිටී. ”

කෙසේ නමු​ත් කෝප් කමිටුවේ නව සභාපති ධුරයට රෝහිත අබේගුණවර්ධන යෝජනා කර තිබෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ වන අතර එය ස්ථීර කර ඇත්තේ සංජීව එදිරිමාන්න බව වාර්තා වේ.

මේ අතර විපක්ෂය වෙනුවෙන් ගාමිණී වලේබඩගේ නම හේෂා විතාරණ ඉදිරිපත් කර ඇති අතර ඩිලාන් පෙරේරා එය ස්ථීර කර ඇත. මේ නිසා සභාපති ධුරයට පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත්වා ඇති අතර වැඩි ඡන්දයෙන් රෝහිත අබේගුණවර්ධන තෝරා පත්කර ගනු ලැබීය.