ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදීම පදක්කම් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වූහ. තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී ඊයේ (12) ආරම්භ විය.

මෙහිදී කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 60.93 දක්ෂතාවක් දැක්වූ නදීෂා ලේකම්ගේ මීටර් 60.93 දක්ෂතාවක් දක්වා එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තාය. ඇයගේ මේ දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසද සටහන් විය. එම ඉසව්වේ රන් පදක්කම ජපානයටත්, රිදී පදක්කම චීනයටත් හිමි විය.

එමෙන්ම ඊයේ දිනයේදී කාන්තා මීටර් 1500 ඉසව්වට එක් වූ ගයන්තිකා අබේරත්න විනාඩි 4:14.39කින් තරගය නිමා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය. එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ජපාන ක්‍රීඩිකාවෝ සතු වූහ.

මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අරුණ දර්ශන සහ රජිත රාජකරුණා සමත් වූහ.

මීට අමතරව කාන්තා තුන්පිම්ම ඉසව්වට එක්වූ රන්දි කුරේ මීටර් 13.17ක් වාර්තා කළ අතර, ඇයට හිමි වූයේ 06වැනි ස්ථානයයි.