කැනඩාවේ ඔටාවා අගනුවරදී කුඩා දරුවන් හතරදෙනෙකු ඇතුලුව ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔටාවා නුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්‍යානා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ සහ හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ යන දැරියන් එලෙස ඝාතනයට ලක්ව තිබේ. ඔවුන්ගේ මව වන 35 හැවිරිදි දර්ශනී බණ්ඩාරනායක සහ පවුලේ හිතවතෙකු වන 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ද, ඝාතනයට ලක්වූ පිරිස අතරට ඇතුළත් ය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පියා රෝහල්ගත කර ඇති අතර, ඝාතනය සිදුකර ඇත්තේ ඔවුන්ගේ නිවසේ කලක් ජීවත් වූ 19 හැවිරිදි සිසුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඝාතන සිදු කිරීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා කම්පනයට පත්වන බවයි.

එම සිදුවීම සිය නගර ඉතිහාසයේ වඩාත්ම කම්පනයක් ඇති කළ ප්‍රචණ්ඩ සිදුවීමක් බව ඔටාවා නගරාධිපතිවරයා ද ප්‍රකාශ කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.