කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යාම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,620ක් පමණ සිටින බව නිල වාර්තා අනුව සනාථ වී ඇති බවත්, ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලාංකිකයන් 5,000ක පමණ පිරිසක් තම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවත් එරට ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් පැවසු අතර ඔහු තව  දුරටත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පොදු සමා කාලය මාර්තු 17 වනදා සිට ජූනි 17 දක්වා ක්‍රියාත්මක බවයි.