ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීමට කිසිදු සීමාවක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

පක්‍ෂ අවසරය අවශ්‍ය බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා සම්මුඛ සාකච්ඡාවක් ප්‍රතික්ෂේප කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යය නලින්ද ජයතිස්ස පැවසුවේ,

“අපේ කිසිම මන්ත්‍රීවරයකුට තහනමක් නැහැ. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඔවුන්ට නිදහස තිබෙනවා. කොහොම වුණත් ඒ ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව මම විශ්වාස කරනවා.” බවයි.

සතිපතා කැබිනට් මාධ්‍ය හමුවක් පවත්වන්නේ රජයේ තීරණ දැනුම් දෙන බවත්, එහිදී ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට නිදහස තිබෙන බවත් ඔහු පැවසීය.

“අපි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරනවා. මම මෙහි සිටින්නේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහායි. අමාත්‍යවරුන් තම අමාත්‍යාංශ හරහා යාවත්කාලින කිරීම් කළ යුතු පරිදි තොරතුරු ලබාදෙයි. කිසිම තහනමක් නැහැ. යමක් තිබෙනවා නම්, එය කාල සීමාවන් පිළිබඳ කාරණයක් මිස සීමාකිරීමක් නෙවෙයි.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.