පසුගිය අඟහරුවාදා (26) අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේදී  ශ්‍රී ලංකාව බලා එමින් තිබූ නෞකාවක් පාලමක ගැටී සිදුවූ අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි දෙදෙනෙක්ගේ සිරුරු සහන කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ.

නමුත් ගඟ තුළ තවත් සිරුරු 4ක් ඇති බවට සැලකෙන අතර ඒවා ඉවත් කිරීම අපහසු කාර්යක් බවත් ඊට හේතුවී ඇත්තේ පාලමෙහි යකඩ සහ කොන්ක්‍රීට් ගං පතුලේ විසිරී තිබීමත් බව පවසෙයි.

එබැවින් අතුරුදන්ව සිටින අනෙක් අයගේ සිරුරු සොයාගැනීම කල්ගත විය හැකි බව වාර්තා වෙයි.

නෞකාව පාලමෙහි ගැටීමත් සමගම එය ගඟට කඩා වැටුණු අතර ඒ අවස්ථාවේ පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් 8 දෙනෙක් ගඟට වැටී තිබුණු  අතර ඉන් දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කිරීමට සහන සේවකයින් කටයුතු කළේය.

අතුරුදන් ව සිටි 6 දෙනාගෙන් සිව් දෙනෙකුගේ තොරතුරු මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් විසින් හෙළිදරව් කර ඇත.

මේ වන විට සිරුරු සොයාගෙන ඇත්තේ ඇලෙයැන්ද්‍රෝ හර්නැන්දස් ෆුයෙන්ටස් (35 හැවිරිදි – මෙක්සිකෝව) සහ ඩොර්ලියන් රෝනියල් (26 හැවිදිරි – ග්වාතමාලා) යන දෙදෙනාගේය.

මිගුවෙල් ලුනා (එල් සැල්වදෝරය) සහ මෙනොර් සුවාසෝ (හොන්ඩුරාස්) ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනා ද අතුරුදන් ය.