ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යගිරල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පැමිණිලිකරුගේ රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට සහ බලපත්‍රය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් ද යන්න පරීක්ෂා කර බලා නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව සඳහන්ය.

අදාළ මුදල ලබාගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා සම්බන්ධයෙන් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.