මෙවර 20යි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඇමරිකාවේ නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබදව බොහෝ දෙ​නාගෙන් විවේචන එල්ල වී තිබෙනවා .

ඉකුත් ​දා  ඉන්දියා-අයර්ලන්ත තරඟයෙන් පසුව, එම තණතීරුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, ESPNcricinfo හි Timeout වැඩසටහනේ ප්‍රවීණයෙකු වන හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) පැවසුවේ එය “භයානක මායිමක්” බවයි.

මෙම විවේචන වලින් අනතුරු​ව ඊයේ (06) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සඳහන් කළේ, නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කළ තණතීරු අපට අවශ්‍ය තරම් ප්‍රමිතියක් පෙන්නුම් කර නැති බවත් ඊයේ තරඟය අවසන් වූ මොහොතේ සිට මෙම තත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරග සඳහා හොඳ ම තණතීරු ලබා දීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටන බවත් ය.

මාස පහක කාලයක් තුළ උද්‍යාන භූමියක සකසා ගෙනැවිත් සවි කරන ලද මෙම තණතීරු මත මුලින් ම ජාත්‍යන්තර තරගයක දී පන්දුවට පහර දුන් කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 77කට දැවී ගියා.

මේ අතර එළඹෙන ජුනි 09 වැනි දා ලොවක් බලා සිටින ඉන්දු පාකිස්ථාන තරගය එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිත අතර, එම තරගය හැරුණු කොට තවත් තරග 05ක් එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතයි.