රාජ්‍ය ත්‍යාග නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ දඬුවම අත්හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ජනවාරි 31 වන දින මෙම නඩුව සම්බන්ධයෙන් වසර 14 බැගින් සිර දඬුවම් නියම වූයේ, පෙබරවාරි මස 8 වන දා පැවති මැතිවරණයට සතියකට පෙර ය.

දින 10කින් ආරම්භ වන ඊද් නිවාඩුවෙන් පසු නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් මෙම යුවළගේ දඩුවම අත්හිටුවන බව ඉස්ලාමාබාද් මහාධිකරණය අද (අප්‍රේල් 1) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2018 සිට 2022 අප්‍රේල් දක්වා අගමැති ධූරයේ සිටි අවධියේ තමන් වෙත ලැබුණු පකිස්ථාන රුපියල් මිලියන 140කට වඩා වටිනාකමකින් යුතු රාජ්‍ය ත්‍යාග විකුණා ඉපැයූ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි ඉම්රාන් ඛාන් වෙත චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව පකිස්ථානයේ දූෂණ විරෝධී ඒජන්සිය විසින් ගොනු කරනු ලැබ ඇත.