අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමට අමාත්‍යංශයේ දී පැවැති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුවත් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි. එහි දී දරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධ දළ පෙර කියවීමක් එම දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු උසස් පෙළ විෂය ධාරා තෝරාගෙන අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දක්වා මාස 4-5ක පමණ කාලයක් අපතේ යෑමක් මින් පෙර සිදු විය. කෙසේ වෙතත් ඉදිරියේ දී එලෙස සිදු නොවී මේ සතියේ උසස් පෙළ පන්ති ආරම්භ කරන සිසුන්ට නියමිත වසර දෙක අවසන දී උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව හිමි වන බවත් මේ වසරේ දී නොවැම්බර් මස ආරම්භ වන උසස් පෙළ විභාගය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ පැවැත්විය හැකි වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.