එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් අදාළ නෞකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ඊයේ (21) සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

මෙම පෙත්සමේ සලකා බැලීම අවසන් වන තුරු අදාළ නඩුව මහාධිකරණය හමුවේ විභාග කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ නඩුව ලබන 31 වනදා මහාධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කර ඇත.

කෙසේ නමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදුවී ඊයේ දිනට වසර තුනක් ගතවන අතර ඒ හේතුවෙන් ජීවනෝපාය කරගැනීමට නොහැකි හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවරයින් සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා ධීවර සමිති 9 ක සාමාජිකයින් ඊයේ විරෝධතා පා ගමනක නිරත විය. ඔවුන් වත්තල ඇලකන්ද නගරය තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණය සිදු කළේය.

කොහොමනමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු කලාපයේ පරිසරය අධික ලෙස දූෂණයට ලක් විය.