රාජ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා වන උසස් නිලධාරීන්ගේ 12වන ජාත්‍යන්තර හමුවේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදී මෙය පැවැත්වුණු අතර ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම මෙන්ම, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීම මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්ය.

එමෙන්ම ත්‍රස්ත මර්ධන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල මෙන්ම ආරක්ෂක සහයෝගීතාව ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට හා ආරක්ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව මංපෙත් පිළිබඳව සොයා බැලීමට ඇති අනෝන්‍යය කැපවීම දෙපාර්ශ්වය විසින් ම මෙහිදී අවධානයට යොමුකළ බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේය.