කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර ඇත.

මේ වනවිට ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස ඇත්තේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් පමණක් වන අත​ර ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වනවිටත් කරාපිටිය රෝහල සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෛද්‍යවරු, හෙද හෙදියන් ආදිය පුහුණුකිරීමේ කටයුතුවලට වැඩි දායකත්වයක් දක්වන බව ද පැවසු අමාත්‍යවරයා, රුහුණු විශ්වවිද්‍යාලයේ සායනික පුහුණුව ලබාදෙන රෝහල ලෙස වසරකට 1000කට වඩා වෛද්‍ය සිසුන් ප්‍රමාණයකට පුහුණුවීම් ලබාදෙන බව ද සඳහන් කරයි.